• PDF
  • Print
  • E-mail

ශාස්ත‍්‍රීය විෂය කප්පාදුවෙන් හටගත් භික්‍ෂු ගැටලුවට විසදුම් සෙවීම අපරාධයක් සේ සැලකූවන්ට කෙරෙන පිළිතුරු ප‍්‍රකාශයයි.

 

ලංකාවේ භික්‍ෂු සංඝයා අතර අදවන විට ආන්දෝලනාත්මකම කොටස සරසවි භික්‍ෂූන්ය. ඇතැමෙකුට විශ්වවිද්‍යාල චීවරධාරීය. අප මේ සටහන තබන්නේ චීවරධාරියානැවත අපේ හැමුදුරුවෝකර ගැනීමට නොව අප චීවරධාරීන් කරවූ ගැටලුවේ සැබෑ තත්වය හෙළිකිරීමටය. එසේ නොමැති නම් අපට එම හරසුන් දෝෂාරෝපණයන්ට කිසිදු බියක් නැත. ඒවා කමකටද නැත. ඒ න වණේණන රූපේන නරෝ සුජාණෝ  ආදී බුදු බණ අප නොදත් දේ නිසා නොවේමය.

අප ගැටලුව හඳුනාගත්තේ එනම් ශාස්ත‍්‍රීය විෂයයන් සඳහා සිදුවන ශිෂ්‍ය කප්පාදුව එහි හොදම සිදුවීම වන්නේ එම ශාස්ත‍්‍රීය විෂයය කප්පාදුව සිදුකරන්නාවූ ධනවාදී ලිබරල් කතුරට කැපෙන්නේ සාතිශය බහුතරයක් චීවර වීමය.එනම් එය පාලි සකු හා බුද්ධ ධර්මය යන ක්‍ෂෙත‍්‍ර කෙරෙහි අතිශයින්ම බලපෑම් සිදුකරන නිසාය. අප ඒ අනතුර දුටුවේය. ඒ හුදු හිස උඳුම්මවාගත් භික්‍ෂු ප‍්‍රතිරූපයකින් නොව, මානව ශාස්ත‍්‍රපීඨය තුළ ඇතිවන්නා වූ මෙම ශාස්ත‍්‍රීය අධ්‍යයනයන් ක්‍ෂය වන නිසාවෙන් ඇතිවිය හැකි සමාජ අගතිය දුටු නිසාවෙන්මය.

අනතුරුව අප එය අංශ ප‍්‍රධාන, පීඨාධිපති, උපකුලපති, උසස් අධ්‍යාපන කොමිසමේ සභාපති යන නිලධාරීන් වෙත දැනුවත් කළහ. ඒ සාකච්ඡා මාර්ගයෙන්ද ලිඛිතව ද සිදුකළහ. ඒ වරක් නොව  අවස්ථාවන් ගණනාවක් තුළ ඉතා අපහසුවෙන් වුවත් සිදුකළ කරුණක්ය. ඇතැමෙක් එසේ නොවුවාහු නොකෙරුණා යනුවෙන් සිතන්නේ හෝ කියන්නේ වී නම්  ඒ සඳහා පිළිතුරු අප සතුව ඇත. එවිට අපට චීවරධාරීන් යැයි කියන සිව්වනක් පිරිස අප හඳුනාගන්නවා ඇත. අප වටහා නොගන්තවුන් වෙනුවෙන් යමක් අවශ්‍යයෙන් ම මේ මොහොතේ සිහිකැඳවිය යුතුය. ඒ අප ශිෂ්‍ය ව්‍යාපාරයක් වගය. එහි ස්වභාවය වන්නේ මතවාදී අරගලයකින්් පොදු මිනිස් යහපත උදා කිරීමය. එසේත් නොමැති නම් ආර්ථික හෝ සමාජ තත්වයන්ට බලපෑම් කිරීම නොවේ. ඒවා සිදුවන්නේ කම්කරු සටන් තුළය. නමුත් අප විද්‍යාර්ථයින්ය. එබැවින් අප අපේ හරය අදටත් සුරක්‍ෂිත කිරීමට වගබලාගෙන ඇත. නමුත් පරිපාලනය හෝ අනිකුත් බලධාරීන් අපගේ මතය තුුට්ටුවකට තැකුවේ නැත. අනතුරුව අපට අපේ මතය තීව‍්‍ර කිරීමට සිදුවිය.  ඒ සඳහා අප විරෝධතා, පා ගමන්, උද්ඝෝෂණ මෙන්ම සත‍්‍යාග‍්‍රහ ව්‍යාපාරයන් සඳහා ද යොමු විය. ඒ සියල්ල අප තෝරාගත්තේ අපේ දුක්විඳින අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන ජනතාවට මේ අපරාධය හෙළිකළ යුතු  නිසාය. ඔවුන් සමඟ අප සියලූ දෙනාගේ ලෝකය  සුඛිත මුදිත කිරීම සඳහා ය.

අප දෙවැනි ක‍්‍රියාමාර්ගයන් තෝරා මේ වන විට තුන් මසක් අවසන්ය. එහෙත් පළමු කි‍්‍රයාමාර්ගය වූ සාකච්ඡා දැනුවත් කිරීම් සිදුකළේ ඊටත් පෙරය. අද වන විට ඔවුන් මෙම අවැඩ හදුනාගන්තවුන් සේ ඊනියා රංගනයන් ඉදිරිපත් කරනුයේ සිටිනු පෙනේ. එහෙත් අපි නංගි පෙන්වා අක්කා දීග දීමේකපුකම් විශ්වාස නොකරන්නේමය.  අර්ධ වාර්ෂිකය අවසන්ය! දැන් කාලයක් නොමැත! යන වදන් දිළිදුය. ඔබට ඒ සඳහා අදහසක් ක‍්‍රියා පටිපාටියක් නොහැගේනම් නොපෙනේනම් ඒ සඳහා වූ වැඩ පිළිවෙලත් උදාහරණයත් දෙකෙන්ම ඔබට සංග‍්‍රහ කිරීමට අපට හැකි බවද දන්වන්නේ සතුටින්ය.

මෙහි තවත් සාකච්ඡා කළයුතු පැතිකඩක් ඇත. එනම් අපගේ මෙම ව්‍යායාමයට  ඔවුන් ගෙනෙන මර්දනය පිළිබඳවය. දිගින් දිගටම පොලීසිය උසාවිය යන ආයතන යොදාගනිමින් ඔවුන් අප නවතාලීමට උත්සාහ ගන්නේය. ඒ වෙනුවෙන් අප ගුටි කෑහ. කඳුළුගෑස් ජලප‍්‍රහාරවලට මුහුණ දුන්නේය.  ඒවා පිළිබඳව අපට වින කරන උන් ගොඩනැගුවේ අප අවිනයවාදී  චීවරධාරින් බවය. එයට ඔවුන්ගේ තිප්පොළවල් වන රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යය විශාල කාර්යයභාරයක් ඉටු කළේය. අප දුවන රූප රාමු විකාශය කළේය. එහෙත් පොලීසියත් කැරලි මර්දන ඒකකයත් දුවනකන් තලන අයුරු සඟවා තැබුවේය. විචාරයක් නැති පුස්සෝද එයම සත්‍යය අන් සියල්ල බොරුය යන දෘෂ්ටි අන්ධකාරයෙන් වෙලිීගත්හ.

එම තත්වයට කවරෙක් පත්වුවද එය සමාජ ක‍්‍රමයේ හා මාධ්‍යය දේශපාලනයේ ප‍්‍රමාණය ලෙස අපට ඉවසිය හැකිය. එහෙත් ඛේදවාචකයක සීමා රහිතභාවය ප‍්‍රකට කරමින් 2015-05-28 දින කැලණි විශ්වවිද්‍යාලයේ අචාර්ය මණ්ඩලයේ  භික්‍ෂූන් වහන්සේ නමින් සංවිධානය වූ හදිසි හිමිවරු පිරිසක් අප වෙත පැමිණියේය. එසේ පැමිණියේ හිස් අතින්ද නොවේ. ඔබත් මේ අපරාධයට හවුල්වෙනවා ද යන ලිපියක් ද දාහතර නමකගේ අත්සනින් ද යුතුව රැගෙනය. අප උන්වහන්සේලාගේ සසුනටත් අපටත් දක්වන ස්නේහයට ගරුකරමු. තවද අපේ අචාර්යවරුන් සේ සිතින්ම සළකා උපදෙස් ද සිතට ගන්නෙමු. එහි දොසක්ද නොදකිමු. නමුත් අපට පෙරලා ඇසිය යුතු යමක් ඇත. අපගේ අධ්‍යයන ක්‍ෂෙත‍්‍ර තුළම සිදුවන කප්පාදුවත් පිරීහීමත් වෙනුවෙන් එසේ සංවිධානය නොවූයේ කිම? මෙම ලිපියේ මුද්‍රණ කරන කාලය හා ශ‍්‍රමය යොදවා අප අධ්‍යයනාංශවල පුරප්පාඩු පවතී ඒ සඳහා සුදුසු ක‍්‍රමවේදයකින් ශිෂ්‍යයන් බඳවාගන්නා ලෙස ඉල්ලීම් ලිපියක් සැකසීම නොකළේ මන්ද? යන්නය. ඒ සියලූ හිස් පුටු මත ඩොලර් කොළ එලා විදේශීය ශිෂ්‍යයන් වාඩිකරවීමට ද?

තවද උන්වහන්සේලා රැගෙන ආ ලිපියේ ඇති කරුණු කිහිපයක් ද විවේචනය කළ යුතුව ඇත.  ඒ එය තුළ පොදු සමාජයේ සිටින ඇතැම් අවිඥානික පුද්ගල කොටස් තුළින් ද  එම විවේචන මතුවන නිසාවෙන්ය. ඔවුන් දක්වා සිටියේ අර්ධවාර්ෂිකය අවසන් වන්නට ආසන්න බවය. එහෙත් මෙම සටන් තුළ මෙසේ ජීවමාන වීම මෝඩකමක් යන්නය. තවද  මෙවන් ක‍්‍රියාකලාප තුළින් භික්‍ෂූන් වහන්සේ අහිමි කරගත් දේ බොහෝය යන්නය. භික්‍ෂු විශ්විද්‍යාලයත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් දුෂ්කර ස්ථාන කරා රැුගෙන යන්නේ මෙවැනි සටන් නිසා බවය. උදාහරණ ඉතා කදිමය. නමුත්  ඒ අපගේ  පාර්ශවයටය. එහෙත් ඔබගේ තර්කයට දියහැකි පිළිතුරක් වෙනුවට සිතාබැලීමට යමක් යොමුකිරීම උචිතය. වල්පොල රාහුල හිමි බෞද්ධ හා පාලි සරසවිය හෝමාගම ඉදිකරන්නේ ඔබ තරම් කියවීමක් නොතිබූ නිසා ද? එසේත් නොමැතිනම් විශ්වවිද්‍යාලයක් පැවතියයුතු ගුණාත්මකභාවය පිළිබඳ අවබෝධ කොටගෙන එය  අගනගරයේ තිබීම  වැදගත් යනුවෙන් නොසැලකූ නිසාද? හෝමාගමට වඩා බෞද්ධාලෝක මාවතට ඉතා දුරින් සබරගමුව සරසවිය වැනි ආයතන  පිහිටුවද්දී ඒවා කොළඹ ඉදි නොකළේ කවර හේතුවකට ද? ගුරුවරුන් වුවද පිළිගන්නේ නම් නිහතමානීව දෙයක් කීමට කැමතිය. එනම් සරසවිය යන්න පළමුව  හදුනාගන්න කියාය. භික්‍ෂු විශ්වවිද්‍යාලය පුත්තලම් පාරට රැගෙනයාම සම්බන්ධව ද කිව යුත්තේ මෙයමය. මක්නිසාද පූජානගරයට  පුත්තලම් පාරට වඩා රජරට සරසවිය ඇති මිහින්තලය දුර බවය.

නිදහස් අධ්‍යාපනය සරු ඵල රසවිදින ඔබවහන්සේලා විසින් තවත් හාස්‍යජනක ප‍්‍රකාශයක් එම බෞද්ධ අධ්‍යාපන ආයතන දෙක සම්බන්ධව මෙසේ සඳහන් කර ඇත.මේ ආයතන  ශිෂ්‍ය සටන් නිසා ලැබුන දේ නොව වැඩිහිටි භික්‍ෂූන් වහන්සේ රජයට කරුණු කීමෙන් ලබාත් පහුසුකම්ය.නිදහස් අධ්‍යාපනයත් උක්ත ආයතන සඳහා පුරෝගාමී මෙහෙවෙර කළවුන් අතර දීප්තිමත් චරිත අතර  වල්පොල රාහුල හිමියන්ගේ චරිතය ඉහළින්ම ඇත. ඉතිහාසය කියවා නොමැත්තවුන්ට දැක අවබෝධයට බෞද්ධ පාලි සරසවියේ ඉදිරිපස එම පිළිරුව නිසොල්මන්ව  අදටත් ඇත. උන්වහන්සේලා  මේවා අපේ අයිතීන් බව රජයට කරුණු පැහැදිලි කළ බව සැබෑය. එහෙත් රජය සැලකූ අයුරු යක්කඩුවේ ප‍්‍රඥාරාම හිමියන්ගේ පැවිදි මග හා සසුන් මග තුළ මෙසේ දක්වයි.ගරු ඞී.ඇස් සේනානායක මහතා අපේ ප‍්‍රකාශය හා ප‍්‍රතිපත්ති නිසා විද්‍යාලංකාර පිරිවෙන විනාශ වන බව අප ඉදිරියේම තර්ජනාත්මකව ප‍්‍රකාශ කළේය. සේනානායක විජේවර්ධන කොතලාවල ජයවර්ධන ආදී යූ .ඇන්.පී මහ නායකයෝ පිරිවෙනත් පිරිවෙනේ භික්‍ෂූන් වහනසේලාත් විනාශ කිරීමට  කළ හැකි හැමදෙයක්ම කිසිදු අඩුවක් නොතියාම කළහ. විද්‍යාලංකාර පිරිවෙන සමතලාකොට උදු වැපිරීමට ද සූදානම් වූහ. අපේ භික්‍ෂුන් සිවුරු කඩා හිරේ දැමීමට මන්ත‍්‍රණ සභාවට පවා යෝජනා අණ පනත් ඉදිරිපත් කළහ. මහපාරේ දමාගෙන අපේ භික්‍ෂූන් තලා පෙළා දැමූහ. දන් වැළකීම් අධාරෝපාකාර නැවැත්වීම් සුන්බත් කිරීම් හා නින්දා අපහාස තර්ජන වර්ජන චෝදනාදිය ගැන කවර කතාද? විද්‍යාලංකර භික්‍ෂූන් වාහනවලින් ඇද බිමට දමාගෙන සිහි නැතිවන තුරු, ආ සිහිය නැවත නැතිවනතුරුත් තලා පෙලා දැමූහ. ඇණ ගත නොහැකි වූ නමුත් පිහිත් අමෝරා ගත්හ. පොලීසියෙන් හා උසාවියෙන් පවා ජය ලැබුනොත් ඔවුන්ගේ දාමරික බේබද්දන්ටමයි.මෙතුළින් වැඩිහිටි භික්‍ෂූන්ගේ ඉල්ලීමට රජයෙන් ලැබූ පහසුකම් අපට අවබෝධකරගත හැකිය.

තවත් ප‍්‍රකාශයක සටහන්ව තිබුනේ වර්තමාන අඥාන ශිෂ්‍ය නායකයින් අඩු ලකුණු සහිත භික්‍ෂූන් විශ්විද්‍යාලයට බඳවා ගන්නවා යන්න ලොවට කියන බවය. එය සැබෑය. අප තුළ බොරුව නැත. කිසිවක් සඟවා කිසිවක් කරන්නේද නැත. එහෙත් අප සුදුසුකම් රහිත භික්‍ෂූන් බඳවාගන්නා ලෙස ඉල්ලන්නේ ද නැත. අප ඉල්ලා සිටිනුයේ ගිහි හෝ පැවිදි සුදුස්සෝ ශාස්ත‍්‍රීය විෂයධාරාවන් තුළින් කප්පාදුවන අවිධිමත් වැඩපිළිවෙල නවතා ඒවාහි ගුණාත්මක සංවර්ධනයක් ඇති කළයුතුය යන්නය. එහෙත් ඔබ කියා ඇත්තේ බෞද්ධ භික්‍ෂූන්ට රට තුළ වෙනම ආයතන දෙකක් තුළ අඩු ලකුණුවලින් වුවද උපාධි ලබාගතහැකි අවස්ථාවන් ඇති බවත් එය හෙළි නොකොට සඟවා සමාජයට කොකා පෙන්විය යුතු බව නොවේද? ලේ රත් වන්නේ එවිටය. අඩුම තරමේ අපේ නංගිලා මල්ලිලාත් ඒ සමාජ අසාධාරණයටම දියවී යන බව අමතක වීද? අප ඇතුළු සියලූ සරසවි භික්‍ෂූන් භික්‍ෂුවක් වූ පමණින් සරසවි පැමිණ නැත. ඔවුන් සියලූ දෙනා මූලික සුදුසුකම් සපුරා ඇත. විශේෂත්වය වනුයේ ඔවුන්ට වැඩි ඉඩකඩක් හිමි වීමය. එම ඉඩකඩ මේ රටේ සියලූ මිනිසුන් වෙනුවෙන් හිමිවිය යුතු අයිතියක් බවට පත්විය යුතුය. අපට ලැබුණු ඒ වරප‍්‍රසාදයෙන් මෙල්ල වී මුනිවත රැකගෙන කොටස බේරාගන්නා ලෙසට ද ඔබ යෝජනා කර සිටින බවක් ඔබගේ ලිපියෙහි ඇත. අප වරදාන වරප‍්‍රසාද නිසා දහඩිය කදුලූ වගුරා අපට බත බුලත දී හැ¥ වැඩූ මිනිසුන්ට විරුද්ධ වන පරපුරක නොවන බවය. අනෙක මුහුණට සිනාසී පස්සට රැවටීමේ ගතියක් ද අප සතුව නැත.

තවත් ප‍්‍රබල මතයක් වශයෙන් ඔවුන් දක්වන්නේ සුදුසුකම් සපිරූ භික්‍ෂූන් රට තුළ නොමැති බවය. අප එයට ප‍්‍රතිඵල ලේඛන සහිතව රට තුළ අසාධාරණයට ලක්වූ පිරිස පෙන්වූ විට ඔවුන් නිරුත්තරය. තවද විශේෂ ප‍්‍රවේශලාභීන් නගාසිටුවීමට නොහැකි බවද ආචාර්ය මණ්ඩලයේ පොදු අදහස වූ බවද අපට දැනගන්නට සලස්වා ඇත. අපි මෙවැනි අදහස්වලට පිළිතුරු දීම් පවා අනවශ්‍ය සේ සලකා බැහැර කිරීම වටී යැයි සලකන්නෙමු.

තවද නවක වදය මෑත සිට කෲර ලෙස මාස ගණනක් පැවැත්වෙන බවත් එය ශිෂ්‍ය නායකයන්ගේ ම්ලේච්ඡුත්වය නිසා උද්ගත වූ තත්වයක් බවත් දක්වා ඇත. මෙම විවේචනය ගිහි පැවිදි දෙපාර්ශවයටම එල්ල වන චෝදනාවක්ය. නවක වදයේ ස්වභාවය පිළිබඳ ඉතිහාසයේ ලත් අත්දැකීම් ඇත්තවුන් නම් එදා සහ අද පිළිබඳ ගලපා බැලිය යුතුය. අපට කිව හැක්කේ අප දන්නා තරමින් එය අහසට පොළොව මෙන් කියාය. කාලය පිළිබඳ ඇති වූ විවේචනය අප විමසා අද වන විටත් ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම ගුණාත්මකභාවයක් පෙන්වා ඇති බවද අප ක‍්‍රියාවෙන් ඔප්පු කර ඇත. ශිෂ්‍ය නායකයන්ගේ ම්ලේච්ඡුත්වය පිළිබඳ තත්වය අප ඇසුරු කරන ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය සහෝදර සහෝදරියන් හදුනනවා ඇත. මක්නිසාද සංවාසේන සීලං වේදිතබෙබාඇසුරෙන්ම හික්මීම හඳුනාගත යුතු බැවින්ය. එම නිසා ශිෂ්‍ය නායකයින්ගේ සිංහ ලීලාවත් සිව් වසරින් පසු පැදුරටත් නොකියා පලායාමත් වැනිදෑ ද හොස්ටල් අහිමිවීම වැනි හරසුන් දෑ ද සංවාදයකට අපට ප‍්‍රමාණවත් නොමැති බවද දන්වා සිටින්නේය.

මේවා සියල්ල මෙතකින් හමාර නොවන්නේමය. අප ඉල්ලා සිටිනුයේ අධ්‍යාපන අයිතිය සුදුසුකම් සපුරන රටේ ¥පුතුන් වෙනුවෙන් හැකිතාක් ලබා දෙන ලෙසය. පාලි සකු බෞද්ධ දර්ශනය ආදී ශාස්ත‍්‍රීය විෂයයන් තුළ පවත්නා පුරප්පාඩු පරවන ලෙසටය. අප ගත් මග වැරදිනම් අපට පෙන්විය හැකිය. අප ගත් මග නිවැරදි නම් නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් ගිහි පැවිදි ජාති කුලගොත් භේදයකින් තොරව සංවිධානය විය හැකිය.  

 

භික්ෂු සංගමය

කැලණිය විශ්වවිද්‍යාලය

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday55
mod_vvisit_counterYesterday27
mod_vvisit_counterThis week189
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month732
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19597