• PDF
  • Print
  • E-mail

උන්මන්තකයෙකුගේ අඳෝනාව

            පපුවට හුළං වදින්න කමිස බොත්තම් දෙකක් ඇරගෙන මූදුවැල්ල දිගේ ඇවිදන් ගිහිල්ල, මුලු දවල් වරුවෙම පේ‍්‍රමවන්තයන්ගෙ මුකුළුකතා අහන් හිටිය ගල්පොත්තක් උඩ වාඩි වෙද්දි රෑ අට වගේ වෙලා. වැල්ලෙපන්සලෙනුයි, දූවෙ පන්සලෙනුයි හැමදාම අහන් ඉන්න එකම බණ-පිරිත් ටික අහන් ඉඳලඇති වෙලා වගේ මුහුද "හෝ හෝ" ගාල කෑ ගහනවා. ආමිකඩෙන් ගත්ත ස්වර්ණපත‍්‍රවලින්එකක් තොල් අස්සෙ ටිකක් තදට හිර කර ගත්තා. ඇන්තනි රෝස පොහොට්ටුවේ නැගල "බත්තලංගුණ්ඩුවට" යන ගමන් මූදු හුළඟ වැදි වැදි ස්වර්ණපත‍්‍රයක් පත්තු කරේ "වේරම්භ වාතයේදී වුව දුමක් දල්වා ගැනීමට පුළුවන" කියලා. වේරම්භ වාතයක්හමාගෙන නො ආවත් මොළේටත් එක්ක වදින මුහුදු හුළඟ ඉස්සරහ මමත් ස්වර්ණපත‍්‍රයක්පත්තු කරා. ඒ ලයිටරෙන් නම් නෙවෙයි. "සූර්යා" ගිනිපෙට්ටියෙන් ගත්ත එකගිනිකූරකින්.

තොල් අතර රත් වෙමින්
නිහඬ සිතිවිල්ලට
ප‍්‍රාණය ආරෝපණය කරන
නුඹෙන් ලද ආස්වාදය
මංමුලා කරයි මා
අපූර්ව සුයාමයක
හුදෙකලාව ද කැටි ව

තෙරක් නොපෙනෙන සප්ත මහා සාගරයක හබලක් තියා ඔරුවක්වත් නැතුව මගේ සිතිවිල්ලත් අයාලේ ගිහින් මංමුලා වුණා.

දූවෙ පන්සලට ගිහිල්ල අම්මලත් එක්ක පන්සිල් අරන් බුදුන් වැඳල ළපටි හිනා කටදෙපැත්තෙන් පෙරාගෙන එළියට ආව මම අන්තිමට පන්සලකට ගිහිල්ල වැන්ඳෙ කවද්ද කියලකල්පනා කරන්න ගත්තා. භෞතිකවාදෙ, විඥානවාදෙ ගැන ටික ටික කියෙව්වට මමභෞතිකවාදියෙක්වත් විඥානවාදියෙක්වත් නෙවෙයි. ඒ දෙකේ අතරමැදියෙක්.ගන්ධබ්බයෙක්. ඒත් කිරිකොකා වගේ සුදු ඇඳන් පන්සල් ගිහිල්ල බුදුන් වැඳිල්ලනැවතුණේ ඔය කෙහෙල්මල් දෙකම නිසා නෙවෙයි, බෞද්ධයො විධියට අපි සිංහල බෞද්ධකමඉස්මුදුනෙ තියන් ඉන්න නිසා. මට එපා වුණේ කෙහෙල්මල් සංස්කෘතිය. ඒත් මමදැක්ක හොඳම සමාජ නිරීක්‍ෂකායෝ තුන්දෙනා වුණේ බුදුහාමුදුරුවෝ, ජේසුතුමා සහකාල් මාක්ස්.

සංස්කෘතිය ගැන එක එක තැන්වලින් කියවපු කුණුගොඩවල් ඔක්කොමඑකතු වුණාම ඔලුව කුරුවල් වෙනවා. සීයට අසූවක් අනූවක්ම සංස්කෘතිය කියල දැකලතියෙන්නෙ සම්ප‍්‍රදායික දේවල්. නැත්නම් පුරාවිද්‍යාවට අයිති ඓතිහාසිකදේවල්. අම්මප අද ජීවත් වෙන එකාගෙ සංස්කෘතිය ගැන මොකෙක්වත් කතා කරන්නෙනැත්තෙ ඇයි කියල ඔලුවට එපා වෙනකම් මම කල්පනා කරල ඇති. අද අපි ඉන්නෙසංස්කෘතික කවලම් මාලුවක තමයි. ඒත් ඒ සංස්කෘතික කවලම් මාලුව, සංස්කෘතිකඅච්චාරුව තරම් මට මේ මොන මඟුලක්වත් රහ නෑ. ඔය අච්චාරුව වළඳන්න අපිට තහංචිදාල තියෙන නිසාමද මන්ද මට බත් නැතුව ඒ අච්චාරුව විතරක් කොටාබාන්න හිත් දෙනවාර අනන්ත අප‍්‍රාමාණ තියෙනවා.

වැටකෙයියා ගාල් ඔක්කොම කපලකොන්ක‍්‍රීට්වලින් කෘතීම සුන්දරත්වයක් මවල තිබ්බට මුලින් තිබුණ සොබාවිකමූදු වෙරළට මං වැඩියෙන් ආසයි. ඒත් සුන්දර දේවල්වලින් අතිසුන්දර වුණ, අතිශයෝක්තියෙන් කලාබර වුණ සංස්කෘතික නිර්මාණයන්ට මගේ හිතත් ටිකක් විතරඅමනාප යි. ගොඩක් දුරට මනාපෙකුත් නෑ. සුන්දර මූදුරැලිවලට යටින් මාරාන්තිකදියවැල් ඇදෙනව කියල මං හොඳාකාරවම දන්නවා.

බෞද්ධයට සිංහල බෞද්ධසංස්කෘතිය, මුස්ලිම් එකාට ඉස්ලාම් සංස්කෘතිය, කෝවිලට ගියාම හින්දුසංස්කෘතිය, පල්ලියට ගියාම ආගමේ සංස්කෘතිය, කැම්පස්වලදි විශ්වවිද්‍යාලඋපසංස්කෘතිය. මොන සංස්කෘතිය වුණත් බදාගත්තොත් ඉස්මුරුත්තාවට එනවා. ඒත් මූදුරස්සාව කරන උන්ගෙ ධීවර සංස්කෘතියටවත්, මුඩුක්කුවල ජීවත් වෙන අහිංසකදඩබ්බරයන්ගෙ සංස්කෘතියටවත්, ගණිකාවන්ට තියෙන අසම්මත සංස්කෘතියටවත් ඒක අදාළනෑ. උන්ට සංස්කෘතිය ඉස්මුරුත්තාවට එන්නෙ නෑ. උන් යන්තම් බඩකට පුරව ගන්නෙත් ඒසංස්කෘතියට පිං සිද්ධවෙන්න. ඒත් ඒකෙ සංස්කෘතියක් තියෙනව කියල උන් දන්නෙත්නෑ. උන් ජීවත් වෙනවා. එහෙනම් මේ සංස්කෘතික ගැටයක් තියෙන්නෙ සමහර සංස්කෘතිවලවිතරයි.

ආගම් නමින් සංස්කෘතීන් බිහිවෙච්ච නිසා දේවදත්තල, සාතන්ලවැඩියෙන් බෝ වෙලා. විශ්වවිද්‍යාල උපසංස්කෘතිය නිසා අලයොයි පොද්දොයිමරාගන්නවා. උන් කවුරුත් කරන්නෙ අරගල. තම තමන්ගෙ දේ රැකගන්නයි විප්ලවකාරයොවෙන්නෙ. ඒත් ලෙනින් කිව්වෙ "ඉගෙන ගන්න, අරගල කරන්න. අරගල කරන්න ඉගෙන ගන්න."කියල. විප්ලවකාරයො බලෙන් හදන්නත් බෑ. සංස්කෘතියක් බලෙන් හදන්නත් බෑ.විප්ලවකාරයො ඔලුව පාවිච්චි කරල හදන්නඕන. සංස්කෘතියක් ස්වභාවිකව හැදෙන්නඕන.

සංස්කෘතිය උගන්නන තැන්වලත් මහා ඛේදවාචකයක්. කොච්චර දැනඋගත් වුණත්උගන්නන්නෙ පරණ සංස්කෘතීන් ටිකක් විතරයි. ලෝක විනාසෙට ළං වෙද්දි ඉරවල් හතක්පායල ලෝකෙම පුච්චනව වගේ, ගිනිකඳු පුපුරල ලෝකෙම යට කරන් ලෝදිය ගලනව වගේපරිපූර්ණ ආවරණයක් දෙන්න ඒ අයත් අසමත්. සුද්දගෙ සංස්කෘතිය "මූදු තෙරින් එනනීච භයංකර සංකර වූ හැම දේවල්" කියල අතෑරල දැම්ම නම් අපි අදටත් කලිසම්අඳින්නෙ නෑ. සුද්දගෙ හැමදේම දොහොත් මුදුන් දීල පිළිගත්ත නම් සමහරු මුතුඇටයක් වගේ කියපු, සමහරු අඹ ගෙඩියක් වගේ කියපු, සමහරු කඳුළු බිංදුවක් වගේකියපු මේ රට ලංකාවක් නොවී අදටත් බි‍්‍රතාන්‍ය කොලනියක් වෙන්න තිබුණා. අපිසුද්දගෙ අධෝමුඛය මිසක් මුඛය අල්ල ගත්තෙ නැති පාඩුව අදත් සැරටම දැනෙනවා.
අපි හැමදාමත් අලුත් කරගෙන තියන් හිටපු එකම සංස්කෘතිය දේශපාලන සංස්කෘතිය.රට කරපු, රට කරවන කොයි කාගෙත් මොළවලට පිං සිද්ධ වෙන්න අපි ඒකට එකතු කරගත්තෙජනතාව ගොනාට අන්දල හරි බලය වර්ධනය කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳමතියරි ටිකක් විතරයි. ඒවත් ඒ ඒ කාලෙ ඒ ඒ කෙනාගෙ අවශ්‍යතාවලට අනුව එකතු කරගත්තත් පස්සෙ ආව ගොඩක් අය ඒ තියරි ගෙනාව අයට වඩා හොඳට පාවිච්චි කරා. ඒකපරිණාමය වෙන්නත් පුළුවන්, පරිණත වීම වෙන්නත් පුළුවන්. ඒත් ඒ සංස්කෘතියතේරුම් ගන්න තරම් මොළයක් මට නෑ. අනික මට අද වෙද්දි ඒ තරම් දේවල් හිතන්නඋවමනාවකුත් නෑ.

මූදු වෙරළෙ රෑ පානෙ ඇවිදන් යන කොල්ලන්ටත් සංස්කෘතියක්තියෙනවා. ඒක මේ සමාජෙන් හැංගිච්ච භූගත සංස්කෘතියක් කියල මට හිතෙනවා. ඒත් ඒකභූගත කරල තියෙන්නෙ මහා සංස්කෘතිය ඇතුළෙ 'අසම්මතය' කියල කියාගන්නමළඉලව්වකින්.

තරුවලින් පාර අහගෙන මූදු ගිය මිනිස්සුන්ගෙ බෝට්ටුවල එළියපහන් වැටක් වගේ එක පෙළට පේනවා. උන් දවල් වරුවෙම ගෙට වැදිල හිටපු නිසා රෑවරුවම ගෙදර නෑ. සමහර විට රෑ වරුවට විතරක් එන උන්වත් නොදන්න උන්ගෙඅනුප‍්‍රාප්තිකයො දැනටමත් උන්ගෙ ගෙවල්වල සයනාරූඪ වෙලා ඇති. දවල් වරුවෙමගෙදර නැති නිසා රෑ වෙලාවෙවත් ගෙදර ඉන්නඕන. ඒක මට ගෙදරින් හැදුණසංස්කෘතිය. සමහර විට ඒක අපේ අම්මල මට හදපු සංස්කෘතියක් වෙන්නත් ඇති.
තවස්වර්ණපත‍්‍රයක් පත්තු කරගෙනම ආසනේ කරගෙන හිටපු රබර් කෑලි දෙක ආයෙත්සෙරෙප්පු කර ගත්තා. මූදු වැල්ලෙ ගැඹුරට අඩිය තිය තිය මං හෙමින් හෙමින්ඇවිදන් යනවා. දහස් ගාණක් අඩි සටහන් තියෙන මූදු වැල්ලට මගේ අඩි සටහන්වැදගත් නෑ වගේම දහස් ගාණක් සංස්කෘතීන් අතරෙ අනුන්ගෙන් ගත්ත, අනුන් මට තෑගිදුන්න එක සංස්කෘතියක්වත් අද වෙද්දි මටත් වැදගත් නෑ.

මම උන්මන්තකයෙක්.....

ප්‍රමුදිත ලුණුවිලගේ 

 
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday41
mod_vvisit_counterYesterday27
mod_vvisit_counterThis week175
mod_vvisit_counterLast week213
mod_vvisit_counterThis month718
mod_vvisit_counterLast month1187
mod_vvisit_counterAll days19583