ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලබන Cinewave චිත්‍රපට උලෙළ ( National Youth Film Festival) 2025 හී දී ‘Unheard’ වාර්තා චිත්‍රපටය එම අංශයෙන් හොඳම වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂක , වාර්තා චිත්‍රපට සංස්කාරක, වාර්තා චිත්‍රපට ශබ්ද නිර්මාණයට අදාළ සම්මානය ඇතුළුව හොඳම වාර්තා චිත්‍රපටය යන සම්මාන හතරෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ආදි විද්‍යාර්ථීනියක් වන ධනංජනා ප්‍රියමාලි දුරගේ සම්මානයට පාත්‍රවිය.
ශ්‍රී ලංකාවේ නාගරික අවකාශයන් බොහෝ විට ප්‍රධාන තැනක් ගෙන ඇති මෙවන් කාලයක උතුරු මැද හා වයඹ පළාත්වල ග්‍රාමීය සංස්කෘතියන්ට ආවේණිකව පවතින ‘දෙබස් කථන ගීත නාට්‍ය’ සාම්ප්‍රදායික ජන නාට්‍ය පිළිබඳ ගැඹුරු විමර්ශනයක් සිදුකරන කෙටි වාර්තා චිත්‍රපටයක් ලෙස ‘Unheard’ හැදින්විය හැකිය.
මෙම වාර්තා චිත්‍රපටය, ග්‍රාමීය ජනතාව අතර ඉතා ජනප්‍රිය ගීත නාට්‍ය කලාවේ ආරම්භය, විකාශනය සහ වර්තමානයේ එම කලාව පවත්වාගෙන යාමේදී කලාකරුවන් මුහුණ දෙන සමාජීය, ආර්ථික යන අභියෝගයන් සවිස්තරාත්මකව ගවේෂණය කරයි. විවාදාත්මක සංවාද, උපහාසාත්මක රංගනයන් සහ රිද්මයානුකූල ප්‍රකාශනයන් එකිනෙකට ඒකාබද්ධ වී නිර්මාණය වී ඇති මෙම කලාවට නගරය තුළ ලබා දී ඇති වටිනාකම් සහ ග්‍රාමීය පරිසරය තුල මෙම කලාව අගය කරන ආකාරය හා ජන නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට මෙම වාර්තා චිත්‍රපටය හරහා විවරණය කෙරේ.
අනුරාධපුර, පුත්තලම සහ විශේෂයෙන්ම වාරියපොළ යන ප්‍රදේශවල නාට්‍ය කණ්ඩායම් අනුගමනය කරමින්, පරම්පරා ගණනාවක් පුරා මෙම කලාව ජීවනෝපායක් සහ සංස්කෘතික උරුමයක් ලෙස රැකගත් රංගන ශිල්පීන්ගේ ජීවිත කතා ‘Unheard’ හරහා ප්‍රේක්ෂකයාට සමීප කිරීමට ධනංජනා ප්‍රියමාලි දුරගේ ගෙන ඇති උත්සහය අතිමහත්ය.



