Previous Next

සන්නිවේදන ශාස්ත්‍රීය සංග්‍රහය

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යාපනයට වසර සියයක් සැපිරුණේ 2021 වසරේදීය. එම සියවසක කාලය තුළ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට ජනසන්නිවේදන විෂය පුරෝගාමීව හඳුන්වා දෙන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශය පිහිටුවීම මගිනි.

වර්ෂ 1973 දී ජනසන්නිවේදන අධ්‍යයන අංශය පිහිටුවීම මගින් මෙරට ජනමාධ්‍ය කර්මාන්තයට අවශ්‍ය වෘත්තිකයන් බිහි කිරීම ආරම්භ කෙරිණි. විෂය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුන්, ජනමාධ්‍ය වෘත්තිකයන් සහ විවිධ නිර්මාණකරුවන්ගේ එකතුවකින් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයක් සමීපයේ වැඩුණු ජනසන්නිවේදන අධ්‍යයනාංශය මේ වන විට ශ්‍රී ලංකාවේ ජනසන්නිවේදනය පිළිබඳ වැඩිම උපාධිධාරීන් පිරිසක් මෙන්ම පශ්චාත් උපාධිධාරීන් පිරිසක් බිහි කර ඇති අධ්‍යයනාංශය බවට පත්ව ඇත.

ජනසන්නිවේදන විෂයයට අතිරේකව මෙරට මාධ්‍ය කර්මාන්තය හා සමීපව වැඩෙන මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි ඉදිරිපත් කරන එකම අධ්‍යයනාංශය බවටද ජනසන්නිවේදන අධ්‍යයනාංශය පත්ව තිබීම පසුගිය දශකය තුළ ලබාගත් වැදගත් ජයග්‍රහණයක් සේ සැලකිය හැකිය.

ගත වූ වසර 50ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ජනමාධ්‍යකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, නිර්මාණකරුවන්, සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන ගුරුවරුන්, මාධ්‍ය කළමනාකරුවන්, දැන්වීම්කරුවන් හා මහජන සම්බන්ධතාකරුවන් බිහි කරලීමට කටයුතු කළ අතරම පොදු ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නංවමින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කරලීමටද ජනසන්නිවේදන අධ්‍යයනාංශය කටයුතු කරමින් සිටී.

එම කාර්යයයේදී  විෂය සීමාව පිළිබඳ සිදුකරන ලද පර්යේෂණවල වැදගත්කම අවධාරණය කරමින් ඊට අදාළ සාහිත්‍යයක් බිහි කරලීමට ද ජනසන්නිවේදන අධ්‍යයනාංශය ගත් උත්සාහයේ තවත් එක් ඵලයක් ලෙස මෙම සන්නිවේදන ශාස්ත්‍රීය සංග්‍රහය - 2023 සැලකිය හැකිය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search